සශ්‍රීකත්වයේ යසෝරාවය කියාපාන සිංහල අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේනික වු සුවිශේෂි ජාතික උත්සවයකි. බක්මහ උළෙල, සුර්යය මංගල්‍යය, සිංහල හින්දු (දමිළ) අලුත් අවුරුදු උත්සවය, ජාතික සංස්කෘතික මංගල්‍යය යන්නෙන් ද හඳුන්වනු ලබන සිංහල අලුත් අවුරුද්ද පරිසරය හා වෙලී පවතින, ගමට අසිරිය ගෙන එන එකම සැණකෙළියකි.
සිරිත් විරිත් කැටිකොටගත් අපට ම සුවිශේෂි වූ අංග රැසකින් මෙම අවුරුදු සමය විචිත්‍රවත් වෙයි. ඒ අතුරින් ලාංකිකයන්ට ම ආවේණික වූ ජන ක්‍රීඩා ප්‍රධාන තැනක් ගනියි. එවන් ජන ක්‍රීඩා එදා මෙන් ම අදත් ලාංකික හදවත් තුළ මහත් ආශ්වාදයක් උද්දීපනය කරනු ලබයි. ඒ නිසාවෙන් ම මෙවන් ජන ක්‍රීඩා හෙවත් අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත වූ අවුරුදු උත්සව ගම්මාන හා නගර තුළත්, විවිධ ආයතන මෙන් ම පාසල් තුළත් සංවිධානය කරන්නට යෙදෙති.
එලෙසින් අප විද්‍යාලයීය කණිටු විදුහලේ සිංහල අංශය විසින් සංවිධානය කළ ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙල මෙම බක් මස තුන් වැනි දින අප ප්‍රාථමික විදුහල් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. ගරු විදුහල්පති පියතුමා, ගරු කුලාචාර්යයතුමා, ගරු උප විදුහල්පතිතුමා, ගරු සම උප විදුහල්පතිතුමා මෙන් ම කණිටු විදුහලේ ගරු මුල් ගුරුතුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම බක්මහ උළෙලේ ආරාධිත අමුත්තිය ලෙස ඇරයුම් ලැබ සිටියේ ප්‍රාථමික අංශයේ මුල්ගුරුතුමිය වන ගරු පී.එස්. ද තිසේරා ගුරුමෑණියන් ය. ප්‍රධාන ආරාධිත ගුරු මව්වරු හා පියවරු ගෞරවාදරයෙනුත් මහත් හරසරයෙනුත් යුතුව සිසු දරුන් විසින් චාරිත්‍රානුකූලව පිළිගනු ලැබිණි.අනතුරුව බක්මහ උළෙලේ ආරම්භය සනිටුහන් කෙරුණේ සමිඳුන්ගේ ආසිරි පතමින් ගරු කුලාචාර්යයතුමා විසින් කළ යැදුමෙනි.
අවුරුදු ක්‍රීඩා වලට පමණක් ම සීමා නොවුණු මෙම ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙල සිහල දමිළ අලුත් අවුරුද්ද සමඟ බැඳී පවතින පළමු අවුරුදු චාරිත්‍රය වන ළිප් බැඳ, ගිනි මොළවා, කිරි ඉතිරීමෙන් ආරම්භ කෙරිණි. අවුරුදු උදාවක අසිරිය මනස්කාන්ත අයුරින් නිර්මාණශීලී රංගනයකින් ඉදිරිපත් කරමින් කණිටු විදුහලේ සිසු දරුහු සියල්ලන්ගේ සිත් පිනවූහ. ඈත අතීතයේ පටන් පැවත එන අවුරුදු සිරිත් විරිත් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියකින් අනතුරුව සිසුන් පුල පුලා බලා සිටි අවුරුදු ක්‍රීඩා ඇරඹිණි.
අවුරුදු කුමරා හා කුමරිය තේරිමේ තරගය විවිධාකාරයෙන් විචිත්‍රවත් ලෙස සැරසුණු සිසුන්ගෙන් වර්ණවත් විය. අනතුරුව අවුරුදු උත්සවයක දී නැතුව ම බැරි ක්‍රීඩාවක් වු ‘කනා මුට්ටිය බිඳීමේ’ තරගය බක්මහ උළෙලේ තරගකාරිත්වය තියුණු කළ අතර එම තරගය සිසුන් තුළ මහත් කුතුහලයක් දැනවීමට ද සමත් විය. තම වාරය එන තුරු ඇඟිලි ගනිමින් පුල පුලා බලා සිටි සිසුන් ගේ ඒකායන උත්සහය වූයේ කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමයි. මෙලෙසින් විනෝදාත්මක වු බක්මහ උළෙලට ‘පොල් ගෑමේ තරඟය’ එකතු කිරීමට ද සංවිධායක මඩුල්ල අමතක නොකළහ. මෙහිදි සීරුවට, හනිකට පොල් ගෑම තුළින් සිසුන්ගේ ඉවසීමත්, කඩිසරබවත් මනාව ඔපමට්ටම් කළ බව නිසැකව ම කිව හැකිය.
මේ අතර වාරයේ පැවැත්වූ ‘ජන ගායනා තරගය’ බක්මහ උළෙල ගීතවත් කළේ ය. අතීතයේ පැරැන්නන් විසින් මදුර ස්වරයට නැඟුණු පද මාලා ක්‍රීඩාපිටිය පුරා රැව් පිළි රැව් දෙන්නට විය. විවිධ ආරයේ ජන ගී අපූරු ලෙස ගයමින් එකිනෙකාට නොදෙවෙනි ආකාරයේ ඉදිරිපත් කිරීම් කළ සිසුහු තරගයේ තරගකාරිත්වය තීව්‍ර කළහ. ජන ක්‍රීඩා වලින් මදක් බැහැර වු ‘හැන්ද මත දෙහි ගෙඩිය තබා ඇවිදීම’, ‘පොල් කටු මත ඇවිදීම’ සිසුන්ගේ සමබරතාවය විදහා දැක් වූ ක්‍රීඩා විය. සාමුහිකව ‘බෝතලයට වතුරු පිරවීම’ යන ක්‍රීඩාව සිසුන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීමෙහිලා සමත් විණි. කුඩා අවදිය සිහිපත් කරමින් ‘බැලුන් පිපිරවීම’,‘ වට්ටක්කා ඇට ගණන් කිරීම’ වැනි ක්‍රීඩාවන්ගෙන් බක්මහ උළෙල සිසුන්ට අමතක නොවන අත්දැකීමක් එක් කළේ ය. මෙවැනි ක්‍රීඩා අතර තරමක අභියෝගාත්මක ක්‍රීඩාවක් වූයේ ‘බාධක දිවීම’ යි. තම සහයක ක්‍රීඩකයා සමඟ සමබරතාවය ගිලිහෙන්නට ඉඩ නොදී ජය කණුව කරා හැකි ඉක්මනින් ගමන් කිරීම එම අභියෝගයයි. දෙදෙනාගේ එක් පාදයක් එකට සිටින සේ බැඳ සිටිය දී තම සහයකයා සමඟ නොවැටී එක්ව දිවීමේ මෙම යුගල ක්‍රීඩාව බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යමින් තරග ද නිමාවක සටහන් තැබීය. සිංහල හා දමිළ බස හසුරවමින් බක්මහ උළෙල තම වාග් ප්‍රතිභාවෙන් රසවත් කිරීමට දායක වුයේ කණිටු විදුහලේ සිසු දරුන්මය. අසිරු විනිශ්චයකින් තෝරාගත් අවුරුදු කුමරා හා කුමරිය තරග අවසානයේ දී අභිෂේක ගන්වනු ලැබිණි. කුඩා සිත් සතන් තුටු කරමින් ඔවුන්ගේ උත්සහයනට කළ දිරිදීමක් ලෙස පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සියල්ලෝ එක්ව ජාතික ගීය ගායනා කළහ. ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙලක නිමාව එලෙස සනිටුහන් කෙරිණි.
පසු විපරුම: සෙත්ලත් දිසානායක විසිනි