Search
Close this search box.

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි"
මනාව ධර්මය හැසිරෙන්නා ඒ ධර්මය විසින්ම ආරක්ෂා කෙරෙති.

පුරා අඩ අඩ සියවසකට ආසන්න කාලයක් පුරාවට, අඛණ්ඩව පිරිත් සජ්ජායනයක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වන එකම පාසල වනුයේ, කන්ද උඩරට තේවා නාදයෙන් සුපෝෂිත වූ, සෙංකඩගල ත්‍රිත්ව විද්‍යාලයයි. එදා විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කරන ලද මෙම පුණ්‍ය කර්මය නොකඩවා ඉදිරියට පවත්වා ගැනීමට හැකිවූයේ බොහෝ පිරිසගේ නොමඳ සහය ඇතිව ය. බුද්ධ ධර්මය නමැති ශ්‍රේෂ්ඨ දර්ශනයේ ඉගැන්වෙන සර්වාගමික සුරක්ෂිතතාවය මෙන්ම, අන්‍යෝන්‍ය සහයෝගීත්වය ද මැනවින් ඉස්මතු කරමින්, මෙම කටයුතු සඳහා ශිෂ්‍යයින් සිය දායකත්වය නොපිරිහෙලා ඉටු කිරීමට වෙහෙසෙද්දී, ගුරු මෑණිවරුන් මෙන්ම ගුරු පියවරුන්ද දිවා රාත්‍රී නොබලා සිය දායකත්වය සැපයූයේ මෙම උතුම් කටයුත්ත යථාර්ථයක් කර ගැනීමේ නිකැලැල් චේතනාවෙනි.

ඒ ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන ඒමට යෙදුනු මෙම පුණ්‍යකර්මයෙහි මීළඟ සන්ධිස්ථානය සනිටුහන් කරනු වස්, මෙවර ද, ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින්, 48 වන වතාවටත් සංවිධානය කරනු ලබන, වාර්ෂික පිරිත් සජ්ජායනය සහ සපිරිකර සංඝගත දක්ෂිණාව, 2023 මැදින් මස 11 වැනි ශනි දින සහ 12 වැනි ඉරු දින, ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2023-03-11 - අපරභාග 8.00 සිට 11.00 දක්වා මහ පිරිත
2023-03-11 - අපරභාග 8.00 සිට 2023-03-12 වන දින පූර්වභාග 6.00 දක්වා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව
2023-03-12 - පූර්වභාග 9.00 සිට අපරභාග 2.00 දක්වා සංඝගත දක්ෂිණාව

මෙම උතුම් වූ පුණ්‍ය කර්මය සඳහා ඔබ සියලුම දෙනාට ගෞරව පූර්වක භක්තියෙන් ආරාධනා කර සිටින්නෙමු.

තෙරුවන් සරණයි!