සිංහල විවාද කලාව යනු ශ්‍රී ලංකාව තුළ අනාදිමත් කාලයක් පුරාවට පැවත ආ කලාවකි. එදා ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ අරගලය තුළ පවා පංච මහා වාදයන් තුළින් සිංහල විවාද කලාවෙන් ඉටු වූ මෙහෙවර මහගුය.
ශ්‍රී ලාංකීය පාසල් විවාද කලාවට නව මුහුණුවරක් එක් කරමින් කන්ද උඩරට පළමු අන්තර් පාසල් විවාද තරගාවලිය , වර්ෂ 2006 හි දී ත්‍රිත්ව විද්‍යාලයිය සිංහල සාහිත්‍ය සංගමය මඟින් “වාග් ප්‍රතිභා” නමින් කලඑළි දක්වනු ලදී. ඒ එවකට හා වත්මන් සිංහල සාහිත්‍ය සංගමයේ අනුශාසකතුමිය වූ රන්දෙණිය ගුරු මෑණියන්ගේත් ,සභාපතිතුමා වූ රන්දික නානායක්කාර සොයුරාගේත් අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
එලෙසින් පෙරවදන ලියන්නට යෙදුණු “වාග් ප්‍රතිභා” නම් වූ ග්‍රන්ථයේ පර්ච්ඡේද දහ හතරක් , වසර තුදුසක් පුරාවට ලියැවෙන්නේ බුද්ධියෙන් හා තාර්කික ඥානයෙන් සුපෝෂණය වූ දැයට වැඩදායි අනාගත පුරවැසියන් රැසක් බිහි කරමිනි.
එකී ග්‍රන්ථයේ පහළොස් වැනි පරිච්ඡේදය , විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන 2022 වසරේදී රචනා කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය අතික්‍රමණය කරමින් , “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නවමු මුහුණුවරකින් පවත්වන්නට සැලසුම් කර ඇත. ඒ අනුව තරගාවලිය අදියර දෙකකින් යුක්ත වන අතර පළමු අදියර මාර්ගගත ක්‍රමයට පවත්වනු ලැබේ. 2022.08.13 වන සෙනසුරාදා දින තරගාවලියේ පළමු අදියර ආරම්භ කරන්නට නියමිත අතර එය අගෝස්තු මස 14 , 27 , 28 දිනයන් පුරාවට පැවැත්වේ. තරගාවලියේ පළමු අදියර අවසානයේ කණ්ඩායම් 8 ක් තෝරාගන්නා අතර ඉන් පළමු අදියර අවසන් වේ.
තරගාවලියේ දෙවන අදියර පාසල තුලදී භෞතිකව පැවැත්වීමට සැලසුම් කර ඇත. පළමු අදියර අවසානයේ තෝරාගත් කණ්ඩායම් 8 භෞතිකව විවාද තරඟයට සහභාගී වන අතර දිනය අවසානයේ අවසන් කණ්ඩායම් යුගල තෝරාගනු ලැබේ. “සාහිත” උත්සවය දිනයේදී අවසන් මහා විවාද තරගය පවත්වනු ලබන අතර එයින් “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නිමාවට පත් වේ.
ත්‍රිත්ව විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන මෙම වසර කන්ද උඩරට ට සේම මුළු මහත් සමාජයට ම දිනක අර්ථවත් , ස්වර්ණමය මතකයන් රැසක් ආවර්ජනය කළ හැකි වසරක් බවට පත් කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ලෙසින් කැපවී කටයුතු කරන බව කිව යුතුමය.
තරඟාවලිය සදහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම අරඹා ඇති අතර ඔබගේ පාසල් කණ්ඩායම ලියාපදිංචි කිරීම සදහා පහත Microsoft පෝරම සබැඳිය භාවිතා කරන්න. ලියාපදිංචි කිරීම් 2022.07.22 දිනෙන් අවසන් වේ.
යොහාන් අමල්ක පියතිලක, ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය