ජාතීන්ගේ විවිධත්වය සැමවිට ම ශිෂ්‍ය ජීවිතයට පන්නරයක් කරගැනීමට තම උරුමය තුළින් ම පරිචයක් කොටගෙන සිටින ත්‍රිත්ව විද්‍යාලයේ මධ්‍යම අංශයේ සිසුන් මෙවර ද නව වසරේ උදාව සැමරීමට වර්ෂ දෙදහස් විසිහතරක් වූ අප්‍රේල් මස විසිහය වැනි දින විද්‍යාලීය චතුරස්රයට රැස්වී සිටියේ මහත් ප්රමෝදයෙනි. වසර ගණනාවක් පුරා මෙකී සැමරුම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ක්‍රීඩා පිටිය තුළ සිදුකෙරුන ද මෙවර එය විදුහල් චතුරස්රයේ සිදු කිරීම ද විශේෂත්වයකි.
ලාංකේය සිංහල හා දෙමළ ජාතීන්ගේ සංස්කෘතිය, සාම්ප්‍රදායිකත්වය හා චාරිත්‍ර වාරිත්‍ර ඔප නංවමින් සිසුහු විසින් ඉදිරිපත් කරන ලද විවිධ නර්තනාංගයෙන් රැස්ව සිටි පිරිස ආනන්දයට පත් වූහ. අවුරුදු උත්සවයේ උත්කර්ෂමත් ම අවස්ථාව වූයේ අවුරුදු කුමරා හා කුමරිය තේරීමයි. විනිශ්චය මණ්ඩලය මහත් අසීරුතාවයකට පත් කරමින් සියලු ම අවුරුදු කුමර කුමරියෝ ඉතාමත් විචිත්‍ර අයුරින් සැරසී සිටියහ. කණා මුට්ටි බිඳිම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, වට්ටක්කා ගෙඩියේ ඇට ගණන අනුමාන කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, තරඟයට පොල් ගෑම වැනි සාම්ප්‍රදායික ජනක්‍රීඩාවල සිසුන් නියැළුණේ ඉතා සතුටිනි. එමෙන්ම බෝතලයට වතුර පිරවීම වැනි නවීන ක්‍රීඩා ද ඊට එකතු විය. ක්‍රීඩාවල නියැලීමෙන් අමන්දාන්දයට පත් සිසුන් තම ප්‍රීතිය ප්‍රකාශ කළේ ඔල්වරසන් දෙමිනි. මෙම ක්‍රීඩා සාමූහිකත්වය, එකමුතුකම මෙන්ම සාම්ප්‍රදායික හා සස්කෘතික වටිනාකම් සුරැකීම සම්බන්ධ ආකල්පයන් ශිෂ්‍ය සිත්සතන් තුළ වර්ධනය කිරීමෙහි ලා ඉමහත් ලෙස ඉවහල් වූ බව පෙනුණි.
ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට යෙදුණු අලුත් අවුරුදු උත්සවය නිමා වූයේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ද පිරිනැමීමෙනි. ජාතීන්ගේ එකමුතුකම හා අනන්‍යතාවය සුරකිමින් ස්වකීය හෙළ උරුමයන් ඉදිරියට ම ගෙන යන ත්‍රිත්ව විද්‍යාලීය සිසුන්ගේ අලුත් අවුරුදු සැමරුම එයාකාරයෙන් නිමාව දුටුවේ ශිෂ්‍ය සිත්සතන් තුළ සදානුස්මරණීය මතකයන් සනිටුහන් කරමිනි.
Reviewed by Shahrukh Fairooz, Vihanga Sangakkara & Krishiv Ekhaash