“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ඡත්තං මහන්තං යථා වස්ස කාලේ
ඒතානිසංසෝ ධම්ම්පෙ සුචිණ්ණෝ
නහි දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”
“ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලැබෙයි. එනම්, මහා වැස්සට නො තෙමී සිටීමට උපකාරී වන ඡත්රයක් මෙනි. මනා කොට ධර්මය පුරුදු කරගත් පුද්ගලයා දුගතිගාමී නොවෙයි.”
ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ ගේ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලත්, දළදා බුදු රැසින් ඒකාලෝක වූ කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේ, පුරා අඩ සියවසකට ආසන්න කාලයක්, අඛණ්ඩව පිරිත් සජ්ඣායනයක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වන, එකම පාසල වනුයේ ත්‍රිත්ව විද්‍යාලය යි. මෙම භාරධූර කාර්යය පැවරුණු විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මඟින් මෙවර පවත්වන ලද්දේ 48 වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාව යි.
පරිත්ත හෙවත් පිරිත් යනු “මෙලොව පරලොව ආරක්ෂාව මෙන්ම සංසාර දුකෙන් මිදී, මනා වූ ලෝකෝත්තර ආරක්ෂාව සත්ත්වයාට ලබාදෙන්නේ ය” යන අරුත යි. ත්‍රිත්ව විද්‍යාලයීය පාලනාධිකාරිය, විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ව සියලු ලෝක සත්වයා හට සෙත් පැතීමත්, පාසලේ සියලු කටයුතු සාර්ථක වීමත් යන උතුම් පාරිශුද්ධ අරමුණු මුදුන්පත් කර ගනු වස් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්මයන් මහා සංඝරත්නය ලවා දේශනා කරවීම මෙහි පරමාර්ථය විය.
මෙවර සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය පැවැත්වීමට යෙදී තිබුනේ බුද්ධ වර්ෂ 2567, එනම් ව්‍යවහාර වර්ෂ 2023 හි මැදින් මස එකොළොස්වන ශනි දිනට යි.
චිරාගත සම්ප්‍රදායට අනුව එදින අපර භාග 8.30 ට අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරයට ගොස් ගරුතර මහා සංඝරත්නයට ආරාධනය සිදු කරන ලද අතර, අනතුරුව කරඬුව හිස මත රැගත් බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපති ධනංජය හේරත් ශිෂ්‍යයා පෙරටු කොට ගනිමින් ගරුතර මහා සංඝරත්නය හේවිසි නාදයෙන් හා නර්තනයෙන් යුක්ත ව මහත් හරසරින් විද්‍යාලය වෙත වැඩම කරවන ලදී. මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිපති, ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන හිමිපාණන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් පිරිත් සජ්ඣායනාවට පෙරාතුව සිදු කරන ලදී. අනතුරුව දැහැත් වට්ටිය පිළිගන්වමින් ගරුතර මහා සංඝරත්නයට පරිත්‍රාණ සජ්ඣායනය ට නමස්කාර පූර්වක ව ආරාධනය සිදු කරන ලද අතර එම ගෞරවනීය ආරාධනයෙන් මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය ආරම්භ කරන ලදී.
මහ පිරිත යනුවෙන් හඳුන්වනු ලබන්නේ තුන්සූත්‍රය යි. එනම් කරණීයමෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ රතන සූත්‍රය යි. එම මහ පිරිත මධ්‍යම රාත්‍රිය වන තෙක් සජ්ඣායනය කළ අතර අනතුරුව සෙසු පිරිත් සජ්ඣායනය ආරම්භ විය.
පසුදින, එනම් මැදින් මස දොළොස් වැනි ඉරු දින පූර්ව භාග 5.30 ට පමණ පිරිත් සජ්ඣායනය නිමා විය. මෙවර පිරිත් සජ්ජායනයෙහි තිබූ විශේෂත්වය නම් අන් කිසිදු වසරක නොවූ තරම් සැදැහැවතුන් පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට සහභාගී වීමයි. පාසලේ සිසු දරුවන්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගී වූයේ සිත් තුළ වූ සුපහන් ශ්‍රද්ධාවෙන් යුක්තව ය.
පසුදින හීල් දානය ද ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයට පූජා කිරීම සිදු කරන ලදී. ඒ සඳහා බැතිබර දායකත්වය දරන ලද්දේ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් ය.
බුද්ධ වර්ෂ 2567, එනම් ව්‍යවහාර වර්ෂ 2023 හි මැදින් මස දොළොස් වැනි ඉරුදිනට යෙදී තිබූ මීළඟ පුණ්‍යකර්මය වූයේ ගරුතර මහා සංඝරත්නයේ තිස් නමක් උදෙසා දහවල් දානය පිළිගැන්වීම යි. පූර්ව භාග 10:30 ට පමණ හේවිසි නාදයෙන් පිළිගනු ලැබූ මහා සංඝරත්නය ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන ශාලාව වෙත මහත් හරසරින් වැඩම කරවනු ලැබිණ. මෙහි දී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ දිනක් පුරාවට ගිහියන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දානය ලබා දුන් මහා සංඝරත්නය උදෙසා ප්‍රත්‍ය දානය ලබා දීමයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මහා සංඝරත්නය සඳහා පූජා කළ යුතු සතර දාන වස්තු හෙවත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච ආදී සියලු ම දේ පූජා කිරීම සහ ඒ සඳහා අනුග්‍රහය දැක්වීම ද, සංඝගත දක්ෂිණාව හරහා සිදුවිය. එය ද සාර්ථකව නිම කිරීමට හැකි වූයේ විශාල සැදැහැතියන් පිරිසකගේ සහභාගිත්වයෙනි.
මෙම භාරධූර කර්තව්‍ය ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරීමට හැකි වූයේ බොහෝ පිරිසකගේ සුපහන් දායකත්වයෙන් ය. ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉගැන්වෙන, සර්වාගමික සුරක්ෂිතතාවය මෙන්ම, අන්‍යෝන්‍ය සහයෝගීත්වය ද පසක් කරමින්, විද්‍යාලයීය සර්වාගමික ශිෂ්‍යයන්ගේ මනා කැපවීමෙන් සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නිවැරදි මඟ පෙන්වීමෙන් මෙම උතුම් පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීමට හැකි විය.
ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයට වසර ගණනාවක සිට අනුශාසකත්වය සපයමින් පහන් ටැඹක් මෙන් නිවැරදි මග පෙන්වමින්, සිය උර මත මෙම කර්තව්‍ය තබා ගනිමින් මල්ලව දිසානායක ගුරුපියාණන් කළ සේවය අතිමහත් ය. එමෙන්ම එතුමාගේ නො මද අධීක්ෂණය යටතේ 2022/23 වසරෙහි, එනම් වත්මන් බෞද්ධ ශිෂ්‍ය සංගම් කමිටුව වන,
සභාපති – H. M. S. ධනංජය හේරත්
ලේකම් – T. S. විජේතුංග
උප සභාපති – J. C. කුරුප්පු
උප ලේකම් – J. H. M. L. L. B. හේරත්
උප භාණ්ඩාගාරික – P. D. M. G. කුලරත්න
කමිටු සාමාජික – B. M. J. B. T. බස්නායක
12 වසරේ කමිටු සාමාජිකයින් – උවන් විතානගේ, අක්ෂී මහදිවුල්වැව
11 වසරේ කමිටු සාමාජිකයින් – ප්රතීව් යායින්න, නිදුල ජයසුන්දර
10 වසරේ කමිටු සාමාජිකයින් – දනිතු කිර්තිසේන, N. N. නිමලසේන, වෙනූජ විජේරත්න
යන නිලධාරි මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් මෙම කර්තව්‍ය අන් සෑම වසරක මෙන් අතිසාර්ථක ව සිදුකිරීමට හැකි විය. විශේෂයෙන් ම, අන් සෑම වසරක දී මෙන්ම මෙම වසරේදී ද, පාසලේ නේවාසිකාගාර ශිෂ්‍යයන්ගෙන් ලැබුණු දායකත්වය ද අමිල ය. එමෙන් ම රැය පහන් කරමින් මෙම පුණ්‍යකර්මයේ සියලු ම කටයුතු නොපිරිහෙළා ඉටු කිරීමට ඔවුන් වෙහෙස වූයේ එකා මෙනි. එමෙන්ම ප්‍රධාන ශාලාව අලංකාර කිරීම ආදී කටයුතුවල දී සිය දායකත්වය දක්වන ලද සංගමයේ සෙසු ශිෂ්‍යයන්ගේ ද, ශිෂ්‍ය නායක මණ්ඩලයේ ද, ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ ද, වෙහෙස මහන්සිය සිහිපත් කළ යුතු ය.
අධ්‍යාපනයේ ප්‍රායෝගික පැතිකඩ මනාව සංවර්ධනය කරමින්, කණ්ඩායම් චේතනාවෙන් යුතුව වැඩ කිරීම, සිය කාර්යයන් බෙදා ගැනීම ආදී පුද්ගල චරිත සංවර්ධනයෙහි ලා මෙම පුණ්‍ය කර්මයෙන් ලැබෙන පිටුවහල අතිමහත් ය. මෙහිදී සියලු ම වැඩකටයුතු ශිෂ්‍යයන් අතින් සිදු වූයේ ආචාර්ය මණ්ඩලයේ ද නො මද අධීක්ෂණය යටතේ ය.
රැස්ව සිටි සැදැහැතියන්ටත්, පාසලටත් සහ මුළු මහත් ලෝකයටමත් ආශිර්වාද කරමින් මෙසේ සාර්ථක අයුරින් අඛණ්ඩව 48 වන වරට සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාව නිමා වූයේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය සිත්සතන් ඇතිව ය.
අවසාන වශයෙන් මෙම පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් උපකාර කළ සුපින්වතුන් උදෙසා ගෞරව පුණ්‍යානුමෝදනාව සිදු කරන අතර එළඹෙන වසරේ දී ද මෙම ගෞරව පූජිත පුණ්‍යකර්මයට සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු.
ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි!
සමාලෝචනය සිදු කරන ලද්දේ – H. M. S. ධනංජය හේරත් ශිෂ්‍යයා
සෝදුපත් කියවීම හා සංස්කරණය – සුභාෂ් ධනසේකර ගුරු පියාණන් සහ කුසල් පෙරේරා ගුරු පියාණන්