ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය විසින් වර්ෂ 2006 දී මුල්ගල තැබූ “තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම” යන්න තේමාව රැගත් අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය වන “වාග් ප්‍රතිභා” මහා කර්තව්‍යය 2023 වසරේ ඔක්තෝබර් මස සත් වන සෙනසුරාදා දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණේ අභිමානවත් ව සොළොස් වන වරට යි.
තරගාවලියේ සමාරම්භක උත්සවය විද්‍යාලයීය ‘නේපියර්’ (Napier) මහලේ පැවැත්වුණු අතර එය ඇරැඹුණේ විද්‍යාලයීය ගරු කුලාචාර්යතුමන් වන ෂෙල්ටන් සමාදානම් පියතුමාගේ යාච්ඤාවෙන් අනතුරු ව ය. සමාරම්භක උත්සවයට සපැමිණි සියලු දෙනා උණුසුම් ව පිළිගැනුණේ අප සංගමයේ ගරු සභාපතිතුමන් වන සෙත්මල් දිසානායක සොයුරා විසිනි. තරගාවලියේ නීති රීති විග්රහ කිරීම අප සංගමයේ උපසභාපති සෙත්ලත් දිසානායක සොයුරා විසින් සිදුකෙරුණු අතර තරග පැවැත්වෙන අනුපිළිවෙළ පැහැදිලි කරනු ලැබූයේ සංගමයේ ලේකම් අමෝද කොස්සලවත්ත සොයුරා විසිනි. මෙ වර විවාද තරගාවලිය සඳහා පාසල් දහ තුනක් ලියාපදිංචි වූ අතර අදාළ විවාද කණ්ඩායම්වලට එදිරිවාදී පාසල සහ යෝජක – ප්රතියෝජකත්වය හිමිවූයේ කුසපත් ඇදීමේ ක්‍රමයට අනුව ය.
තරගාවලිය ලීග් ක්‍රමය ප්‍රකාර ව පැවැත්වුණු අතර සෑම පාසලකට ම තවත් පාසල් දෙකක් සමඟ තරග වදින ලෙසින් කටයුතු යෙදිණි. සාධාරණ හා අපේක්ෂපාති විනිසුරුවරුන් ලෙස අප විදුහල් ගුරු මෑණිවරුන් හා පියවරුන් සමඟින් ආදි විවාදක සොයුරන් ඇප කැප වී කටයුතු කළහ. මුල් වටයෙන් අනතුරු ව සුපිරි පාසල් අට දෙනා තෝරාගනු ලදුව ඉනුදු පැවැත්වුණු තරග වටයෙන් අවසන් පූර්ව වටයට පාසල් සතරක් තේරී පත් වීණි. ඒ පාසල් සතර පහත වේ.
• ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයය, මහනුවර
• උසස් බාලිකා විද්‍යාලයය, මහනුවර
• විද්‍යාර්ථ විද්‍යාලයය, මහනුවර
• ආනන්ද විද්‍යාලයය, කොළඹ
අවසන් පූර්ව වටයට සාර්ථක ව මුහුණ දී ජයග්‍රහණය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ වරම් හිමි කරගනු ලැබූයේ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයය යි. එ කී පාසල් ද්විත්වයට අපගේ නො මඳ ශුභාශංසන හිමි වේ.
වාග් ප්‍රතිභා අවසන් මහා තරගය මේ මස නුදුරේ දී ම පැවැත්වෙන බව අප සතුටින් සඳහන් කරන්නෙමු. උණුසුම්, හරවත්, නැණවත් විවාදයක් සියැසින් දැකබලා ගෙන යමක් තම නැණගතට එකතු කර ගැනීමට ඔබ සියලු දෙනාට ඇරියුම් කර සිටින්නෙමු. සෙත්!
විරුණ ප්‍රියනන්ද,
උපලේකම්,
සිංහල සාහිත්‍ය සංගමය.