2023 වසරේ සිය එකසිය දසවන අභිමානවත් සංවත්සරය සමරන ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය විසින් සවිදහන් කරන්නට යෙදුණු ” සාහිත’23 ” උලෙළ පසු ගිය ඉල් මස සත් වන දින අත්‍යුත්කර්ෂවත් අන්දමින් පැවැත්වුයේ මෙසේය.
මෙ වර උලෙළේ තේමාව “නවකතා රසවින්දනය” බැව් හඳුන්වා දුන්නේ අප පාසලේ සිසුන් ඉදිරිපත් කළ ‘අඹ යහළුවෝ’ නව කතාවේ කෙටි නාට්‍යයම අංගයකිනි.
උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස අපගේ ගරු ඇරැයුම් ලැබූයේ තේමාවට ම ඖචිත්‍ය ගුණයෙන් සපිරුණු සුළවතෙකි. ඒ අනෙකෙකු නො ව පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය, සම්මානලාභී ලේඛක මහාචාර්ය ලියනගේ අමරකීර්ති සූරීන් ය.
යාච්ඤාවෙන් හා පොල්තෙල් පහන දැල්වීමෙන් ඇරැඹුණු උලෙළට සපැමිණි සියලු දෙනා පිළිගනු ලැබූයේ අප සංගමයේ සභාපති සෙත්මල් දිසානායක සොයුරාණන් විසින් පවත්වන්නට යෙදුණු පිළිගැනීමේ කතාවෙනි. සපැමිණි පිරිස පිළිගැනුම වෙනුවෙන් විද්‍යාලයීය ජාතික නර්තන කණ්ඩායම විසින් මනෝහර පූජා නර්තනයක් ද ඉදිරිපත් කරන ලදි.
අප පාසලේ සිසුන් වෙනුවෙන් පැවැත්වුණු සාහිත – සිංහල භාෂා සහ සාහිත්‍ය තරගාවලියේ සහතිකපත් ප්‍රදානය පැවැත්වුණු අතර මෙහි දී දෙවන බස ලෙස සිංහල හදාරන සිසුනට ද සහතිකපත් ප්‍රදානය කිරීමට අවස්ථාව උදා වීම අප සංගමය ලද භාග්‍යයකි.
උලෙළේ වැදැගත් ම අංගවලින් එකක් වූයේ අප සංගමය විසින් සංවිධානය කළ ‘තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම’ තේමාව රැගත් ” වාග් ප්‍රතිභා’23 ” අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය පැවැත්වීම යි. අවසන් මහා සංග්‍රාමයට සුදුසුකම් ලැබ සිටි මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයය සහ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයය එ ලෙස වේදිකාව සිය වාග් චාතුර්යයෙන් සහ තර්කන ශක්‍යතාවෙන් කලම්බනය කළෝය. විවාදයේ මාතෘකාව වූයේ “වත්මන් ලංකීය කලාව ළමා රසවින්දනයට ගැළැපෙන ලෙස නිර්මාණය වී ඇත / නිර්මාණය වී නැත.” යන්න යි. විද්‍යාර්ථයෝ යෝජක පක්ෂයෙනුත්, චන්දානන්දයෝ ප්‍රතියෝජක පක්ෂයෙනුත් විවාද බිමට පය තැබූ හ. තියුණු විවාදයකින් අනතුරු ව වාග් ප්‍රතිභා’23 ශූරතාව හිමි කරගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයය සමර්ථ වී ය. ජයග්‍රාහී විද්‍යාර්ථ විද්‍යාලයයටත් අනුශූරතාව දිනාගත් චන්දානන්ද බෞද්ධ විද්‍යාලයයටත් අපගේ නො මඳ ශුභාශංසන හිමි වේ.
අප පාසලේ නාට්‍ය සංසදයේ සිසුන් විසින් ‘ගම්පෙරළිය’ නව කතාවේ කෙටි අංගයක් වේදිකාවේ රඟදක්වා රැස්වූවනගේ සිත් පිනැවී ය.
සාහිත – අන්තර් පාඨශාලීය සිංහල භාෂා සහ සාහිත්‍ය තරගාවලියේ සහතිකපත් ප්‍රදානය සිදුවූයේ උලෙළේ ආරාධිත මහාචාර්ය ලියනගේ අමරකීර්ති සූරීන් විසිනි.
සහතිකපත් ප්‍රදානයෙන් පසු ව යෙදුණේ මහාචාර්ය අමරකීර්ති සූරීන්ගේ මූලදේශනය යි. නවකතාව ජීවිතයේ ශුභසාධනයට යොදා ගත හැකි අයුරු සහ ඉන් සමාජය ගොඩනැංවිය යුතු අයුරු පිළිබඳ ව එතුමෝ සාරගර්භ දේශනයක් පැවැත්වූ හ. මූලදේශනයෙන් අනතුරු ව අප හා එක් වී උලෙළට දුන් සහයෝගය අගයනු වස් එතුමනට උපහාර දැක්වීමක් සිදුවිණි.
විද්‍යාලයීය පෙරදිග සංගීත සංගමයේ වාද්‍ය වෘන්දය සහ ගායක කණ්ඩායම විසින් රැස්වූවන් පිනැවීම කෙරේ නවකතා ද්වයක් ආශ්‍රයෙන් රැසැයුණු ‘ගඟ අද්දර මා’ සහ ‘කොහේ ද කොහේ ද අපේ ලොවක්’ යන ගී ද්විත්වය ඉදිරිපත් කරන ලදි. ඒ ගැයුම්වල සහ වැයුම්වල මාධූර්යයට සහ අනර්ඝත්වයට සාක්ෂ්‍ය ය රැස්වූවන් අතින් නිරායාසයෙන් ම නැඟුණු අත්පොළසන් නද.
සිය සිවු තිස් වසරක සේවා කාලයෙන් තිස් වසරක් ම විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ ගරු අනුශාසකතුමිය ලෙස කටයුතු කළ ප්‍රියංගනී රන්දෙණිය ගුරුමෑණියන් උලෙළේ දී කාගේත් සම්භාවනාවට පත් කොට උපහාර පිදීමට ද අපි අමතක නො කෙළෙමු.
මුල් කල උලෙළ පිළිබඳ කතිකා කරගත් හුදු වචන මාත්‍රය සැබෑවක් කොට ප්‍රායෝගික තලයට ගෙන ඒමටත්, සාර්ථක කරගැනීමටත් නො මඳ සහයෝගය දැක්වූ ගුරුමෑණිවරු, ගුරුපියවරු සහ අප සහෝදරවරු, ආදි සහෝදරවරු මෙන්ම සහය දුන් අප දෙමව්පියන්ටත්, අනුග්‍රහයක භවතුන් අතුළු සියලු දෙනාටත් අපගේ ගෞරවාදර පූර්වක ස්තුතිය මෙන් ම ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමු.
තවද , මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමෙහිලා ඇප කැප වු අප කමිටු සාමාජිකයන් ද කිසිසේත් අමතක කළ නොහැක.
සභාපති – සෙත්මල් දිසානායක, උපසභාපති – සෙත්ලත් දිසානායක, ලේකම් – අමෝද කොස්සලවත්ත, උපලේකම් – විරුණ ප්‍රියනන්ද, උපභාණ්ඩාගාරික – මෙතුල් දිසානායක, සම්බන්ධිකාරක – දුමිඳු වීරසූරිය, සම සම්බන්ධිකාරක – කෙවින් අධිකාරි, සංස්කාරක – දුලිත් කුරේ, සම සංස්කාරක – නේමින්දර නත්තරම්පොත, තාක්ෂණික කමිටුව – බ්‍රයන් අශෙල්, මාර්ක් මෙලොහිසන්, දිසත් ජයසිංහ, අලංකරණය හා වෙනත් කටයුතු – හසරංග ප්‍රේමවර්ධන, කෙනත් පානබොක්ක, නදිල් අබේරත්න, කාන්චන හේරත් හා ඉඳුවර ජයසිංහ
උලෙළේ නිමාවට පෙර ස්තුති කතාව පවත්වන්නට යෙදුණේ අප සංගමයේ ලේකම් අමෝද කොස්සලවත්ත සොයුරාණන් විසිනි. අවසන පාසල් ගීය සහ ජාතික ගීය ගයා රැස්වූවන් සාර ඵල නෙළාගැනීම පිළිබඳ වූ සන්තුෂ්ටි නේත්‍රයෙන් යුක්ත ව විසිර ගිය හ.
දිගාසිරි වේ වා!
විරුණ ප්‍රියනන්ද,
උපලේකම්,
සිංහල සාහිත්‍ය සංගමය.