තර්කයෙන් විතර්කයට , සංවාදයෙන් විසංවාදයට මනා සාධාරණීයත්වයක් ඉටු කළ විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම ‘සිරස’ නාලිකාව මඟින් හතර වන වරටත් විකාශනය කරනු ලැබූ The Debater with AAT තරගාවලිය වර්ණවත් කළේ ඔවුන්ගේ තාර්කික කුසලතා මැනවින් ප්‍රදර්ශනය කරමිනි.
යොහාන් පියතිලක ( නායක ) , සෙත්ලත් දිසානායක , සෙත්මල් දිසානායක හා අමෝද කොස්සලවත්ත යන සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම ඊට සහභාගී වූහ. 09 මසකට පෙරාතුව ගමනක ආරම්භය සනිටුහන් කරමින් රූපවාහිනිය තුළ විකාශනය නොවූ මූලික වටය පාසල් 500 ක පමණ සහභාගීත්වයකින් පැවැත් වූයේ තෝරාගැනීමේ වටයක් ලෙසිනි. එම තරග වටයෙන් ඉදිරි වටයට පියවර තැබීමට සුදුසුකම් ලැබූ ත්‍රිත්වයින් ප්‍රතියෝජක පසුපෙළ ලෙස විවාදයට එක්වූයේ කොළඹ විශාඛා විද්‍යාලය , තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය හා නුගේගොඩ සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලය සමඟිනි. උරෙන් උර ගැටුණු තරගකාරී තරගවටයක් අවසන් වූයේ සිය වාග් ප්‍රතිභාවන් විදහා දැක්වු අප විද්‍යාලයීය විවාදකයින් මීළඟ වටයට තේරීපත් වීමෙනි.
උද්වේගකර වූ ‘Octo Finale ‘ තරගවටයේ ත්‍රිත්ව තාර්කිකයෝ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලය හා මල්වත්තාවල ජාතික පාසල සමඟ යෝජක ඉදිරිපෙළ ලෙස ඉතා තියුණු තරගයකින් පසු මීළඟ වටයට ප්‍රවිෂ්ට වූහ.
සංග්‍රාමයෙන් පිරි තාර්කික බුද්ධි මණ්ඩපයේ අර්ධ අවසාන පූර්ව වටයට කොළඹ නාලන්දා විද්‍යාලය කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඩී. එස් . සේනානායක විද්‍යාලය සමඟ ත්‍රිත්වයින් අවතීර්ණ වූයේ ප්‍රතියෝජක ඉදිරිපෙළ ලෙසයි. පළමු කථිකයාගේ සිට ම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම විවාදයේ , ආරම්භයේ සිට ම ජයග්‍රහණය සිව් පිළට ම දෝලනය වූයේ ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය දෙගුණ තෙගුණ කරමිනි.
වට හතරකින් යුක්ත වූ මෙම තරගය අවසානයේ දී බලාපොරොත්තු නොවූ අයුරින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ත්‍රිත්වයින්ට අහිමි වූයේ එම විවාදයට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමෙන් පසුවය.
එලෙසින් මෙම තරගාවලියේ ත්‍රිත්වයින්ගේ භූමිකාවේ නිමාව සනිටුහන් වුවද එයින් ලද අත්දැකීම් ඔස්සේ ඉදිරියටත් තම දක්ෂතා ඔපනංවමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් විවාද තරගාවලි නියෝජනය කිරීමට ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම අපේක්ෂා කරති. මාස ගණනාවක් පුරා පැවති මෙම තරගාවලියට විවිධ අයුරින් කාලය, ශ්‍රමය, වැය කළ, තම දැනුමෙන් නොමඳව විවාදකයින් පෝෂණය කළ අප විද්‍යාලයීය ගුරු මව් පියවරුන්ට අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරමු.
අශේන් විජේසිංහ (සිංහල විවාද සංසදය)